මම සහ මගේ අරමුණ….

මීට ටික කාලයකට ඉහත මා මේ ආකාරයට බ්ලොග් අවකාශයක් ආරම්භ කළත් විවිධ වැඩකටයුතු නිසා එය මගහැරී ගියේය. නමුත් පසුකාලීනව එම සියලු වැඩ කටයුතු සමථයකට පත්වීමත් සමග නැවතත් මේ ආකාරයට එය ආරම්භ කිරීමට මා කැපවීමට සිතා ගතිමි. නවතම නමකින් මෙය නැවත ආරම්භ කළත් මගේ අරමුණ මීට ඉහත වූ අරමුණම බව දැන්වීමටද කැමැත්තෙමි.


මා මේ සටහන තබන්නේ මා ගැන විස්තර ඉදිරිපත් කිරීමෙන් ඔබ ට මෙය කියවීම එපා කරවීමට නොව මා මෙවැනි බ්ලොග් අඩවියක් ආරම්හ කරන්නට පෙළඹුණු හේතුව පැහැදිලි කිරීමට මීටත් වඩා සාර්ථක ක්‍රමයක් මසිතට නොඑන බැවිනි.


පලමුවෙන් ම කිව යුතු වන්නේ මා බොහෝ අවස්ථාවල සම්මතයන් ට අභියෝග කරන සහ හැකි සෑම විටම ඒවාට විරුද්ධව යන බවයි. ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීම හෝ මාර්ගයේ දකුණු පසින් වාහන ධාවනය කිරීම වැනි දේ මා කරන බව ඉන් අදහස් නොකෙරේ, නමුත් බොහෝ අවස්ථාවල බොහෝ දෙනා කරන පරිදි ප්‍රශ්ණ කිරීමකින් තොරව විවිධ දේ පිළිගැනීමට සිත මට ඉඩ නොදේ. එය බොහෝ විට මට පුරුදු වී ඇත්තේ මාගේ පියාගෙනි. ඔහු සෑම විටම සත්‍යය පිළිගත්තා මිස අනෙකුන් කරන නිසා අන්ධානුකරණයෙන් පිළිගැනීමට නොපෙළඹුනු අයෙකි.

උපතින් මා බෞද්ධයෙක් යැයි වරක් මගේ මව කීවා මට මතකය. නමුත් ඉන් ඔබ්බට කිසිම දිනෙක මා ඒ ගැන සිතා නැත. පාසලේදී සාමාන්‍ය පෙල විභාගය සමත් විය යුතු නිසා ම බුද්ධ ධර්මය ඉගෙන ගත්තා මිස කිසි දිනෙක මා බුද්ධාගමේ යයි පැවසීම ට මා කැමති නැත.

ක්‍රමයෙන් වයසෙන් වැඩෙත්ම මා සියලුම ආගම් පිළිබඳව හොඳින් අධ්‍යයනයක යෙදුනු අතර අවසානයේ ඒ සියලුම ආගම් පිළිබඳ විශ්වාසයන්ගෙන් තොර පුද්ගලයෙකු බවට පත්වීමි.


නමුත් බුද්ධ ධර්මය ගැන මට වෙනස් ආකාරයේ මතයක් ඇත. එය කිසි විටෙකත් ආගමක් ලෙස මා විශ්වාස නොකරමි. එය දර්ශනයකි. ඉතාමත් ප්‍රශස්ථ ආකාරයෙන් අර්ථ දැක්වුනු ජීවන දර්ශනයකි. මෙලොව ජීවිතය සතුටින් සහ ප්‍රශ්න, නොයෙකුත් සිත් රිදීම්, ඊර්ෂ්‍යා කිරීම් වැනි දේ වලින් තොරව සැහැල්ලුවෙන් සහ අර්ථවත් ලෙස ගත කිරීම සඳහා දේශනා කෙරුනු අතිශය මානුෂිය සහ බල කිරීම් වලින් තොර, නොපෙනෙන දෙවියෙකු මත යැපෙනවාට වඩා තමන්වම විශ්වාස කිරීමට මග පෙන්වන දර්ශනයකි.


මා කිසිවිටෙකත් ජීවිතයේ ලබා ගත යුතු දේ ලබාගැනීම සඳහා දෙවියන්ගෙන් හෝ වෙනත් කිසිම ආකාරයක බලවේගයකින් පිහිට ඉල්ලා නැත. කිසිම දිනෙක ආගමික ස්ථානයක ඒ වතාවත් සිදුකර පිහිට පතා නැත. මා විසින් කරන සියලුම දේ සඳහා හෝ මට සිදුවන ඕනෑම කරදරයකදී එවැනි බලවේගයක ක්‍රියා නිසා එවා සිදුවන බව සිතමින් කටයුතු කරද නැත. මට මා ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇති නිසා මගේ ජීවිතයේ ඕනෑම දෙයක් සඳහා තීරණ ගන්නේ මා විසිනි. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වූ විටදී එය මාගේ තීරණයක වැරැද්දක් නිසා වුවක් ලෙස සලකා එය නිවැරදි කිරීම මගේ ක්‍රමයයි. මෙය අහම්බයෙන් ඇති වූ හැගීමක් නොවේ. කුඩා කල සිටම මාගේ පියා ගේ ජීවන දර්ශනය දැකීමෙන් ඇති වූ හැගීමකි.

ඒ මම ගැන හැඳින්වීමයි…..


දැන් මාගේ අරමුණ ගැන….

පලමුවෙන් ම සඳහන් කළ යුත්තේ මෙය හුදෙක් පුද්ගලික එදිනෙදා තොරතුරු සටහන් කිරීමට යොදා ගැනීමට මාගේ අදහසක් නොමැති බවත් ඉන් ඔබ්බට ගිය කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ සටහන් දිග හැරීමට මා අදහස් කරන බවත්ය. එමෙන් ම ශ්‍රී ලාංකික, සිංහල කතා කරන සහ සිංහල කියවීමට හැකි සියලුම ජනතාව සඳහා මෙය විවෘත කිරීමට මම අදහස් කරමි.


විශේෂයෙන් ම විසි එක් වන සියවසේ ජීවත් වන මිනිස් සමාජය තුල ඔඩු දුවා ඇති අසත්‍ය මතවාද වල සත්්‍ය හෙලි කිරීමේ උත්සාහයක් ද මෙමගින් කෙරෙනු ඇති අතර, ඊට අමතරව කාලීන සමාජ, දේශපාලනික සහ ආර්ථික කරුණූද මෙහි සටහන් කිරීම මාගේ අදහසයි.


“කාලාමයිනි, තොප විසින් සැක කරන්ට නිසිමයි; විචිකිච්ජා කරන්ට නිසිමයි. තොපට විචිකිච්ජාව ඇතිවී ඇත්තේ සැක කටයුතු තැනමයි. කාලාමයිනි, ඇසූ පමණින් නොගනු; පරම්පරාවෙන් පැවත ආ නිසා නොගනු; මෙහෙමලු යන දූෂමාන කතා නිසා නොගනු; ධර්මයෙහි සදහන් වූ නිසා නොගනු; තර්කය හේතුවෙන් හෝ න්‍යාය හේතුවෙන් නොගනු; තොප කලින් සිතූ අදහස හා ගැලපුන පමණින් ද නොගනු; පුද්ගලයෙකු පෙන්නුම් කරන සාමාර්තය හේතුවෙන්ද නොගනු; මොහු අපගේ ගුරුය යන හැගීමෙන් ද නොගනු. එහෙත් කාලාමයිනි, මේ දේ අයහපත්ය, ගර්භිතය, අවැඩ පිනිස වන්නේ යැයි යම් විටෙක තොපට වැටහුනහොත් එවිට එය අත්හැර දමනු. එසේම මේ දේ යහපත්ය, වැඩ පිණිස වන්නේ යයි තොපට වැටහුනහොත් එවිට එය පිළිගෙන පිළිපදිනු.”

- ගෞතම බුදුන් වහන්සේ -

4 comments:

නියමයි
සුභ පතනව.
දිගටම ලියන්න

බුද්ධාගම දර්ශනයක් තමයි.නමුත් ඒ දර්ශනය පරම්පරාවට දායාද වුණේ එය ආගමක් ලෙස ජනතාව විසින් ඇදහූ නිසා.මදක් සිතන්න අද ලෝකයේ සිටින සිලු බෞද්ධයන් බුදුදහමේ ආගමික පැත්ත අමතක කර, පුද පූජා නවත්වා, පන්සල් වසා දමා, සියලු භික්ෂූන් වහන්සේ සිවුරු හැර දර්ශනයක් ලෙස පමණක් සලකා ක්‍රියා කලොත් ඊලග පරම්පරාව වෙත මේ දර්ශනය ගමන් කරයිද?අතීතයේ අපේ මුතුන්මිත්තන් එසේ කළානම් අදවනවිට බෞද්ධ දර්ශනයක් ඉතිරිව තියේවිද?

----- මා කිසිවිටෙකත් ජීවිතයේ ලබා ගත යුතු දේ ලබාගැනීම සඳහා දෙවියන්ගෙන් හෝ වෙනත් කිසිම ආකාරයක බලවේගයකින් පිහිට ඉල්ලා නැත. කිසිම දිනෙක ආගමික ස්ථානයක ඒ වතාවත් සිදුකර පිහිට පතා නැත. මා විසින් කරන සියලුම දේ සඳහා හෝ මට සිදුවන ඕනෑම කරදරයකදී එවැනි බලවේගයක ක්‍රියා නිසා එවා සිදුවන බව සිතමින් කටයුතු කරද නැත....-----

I Can't believe this! you are such a liar!

@ වෙඩික්කාරයා!

Why do you think that people cannot live without this stupid beliefs. Look all over the world and find how many people are like this. In many Asian countries the situation is exactly like yours, but developed countries and developed people doesn's believe such nonsense.

Post a Comment