ගරු අගමැතිතුමනි, එල්.ටී.ටී.ඊ ය තවමත් පවතිනවාද?

Sri_Lanka_Flag

 

 

 

 

 

 

 

මීට දින කිහිපයකට පෙර අපගේ ගරු අගමැතිතුමා ගේ ප්‍රකාශයකින් කියවුනේ ඉන්දියාවේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරු කිහිපයක් තවමත් පවත්වාගෙන යන බවයි. සාමාන්‍ය ප්‍රකාශයකට සීමා නොවී එතුමා මේ බව පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශ කළ බව කියවුණි. මේ තරම් වැදගත් සහ වගකිවයුතු ප්‍රකාශයක් එතුමා කළ විට මා තුළ යම් තරමක පුදුමයක් හට ගැනුනේ එය සත්‍යයක් විය හැකිද යන්නයි. හේතුව නම් ඉන්දියාව මෙවැනි දෙයකට ඉඩ දීම කෙසේ වෙතත් මෙවැනි දෙයක් තිබුණද එය හෙළි වීම නම් කෙසේ හෝ වලක්වා ගන්නා නිසාය. අගමැතිතුමා එදා මේ කතාව පාර්ලිමේන්තුවේ කිරීමේදී එය අතිශය වගකීමෙන් පැවසූ බව පුවත් පත් කිහිපයකම වාර්ථා කර ඇත.

නමුත් ඊයේ පුවත් වලින් කියවුනේ මේ ප්‍රකාශයන් ඉන්දියාව විසින් ප්‍රතික්ශේප කර තිබෙන බවයි. දැන් අගමැතිතුමා කියන්නේ වෙනමම කතාවකි. එතුමාට අනුව මේ ප්‍රකාශයන් උපුටා ගන්නා ලද්දේ පුවත් පත් දෙකක වූ වාර්ථා දෙකකිනි.

පලමු ප්‍රශ්නය වන්නේ මෙරට කිසිම අයුරකින් අපක්ෂපාතී නොවන පුවත්පත් වලින් ප්‍රකාශ උපුටාගෙන සත්‍ය අසත්‍ය තාව සොයා නොබලා පාර්ලිමේන්තුව වැනි වගකිව යුතු ස්ථානයක ප්‍රකාශ කළ යුතුද යන්නයි.

දෙවැනි ප්‍රශ්නය අගමැතිතුමා වැනි අතිශය වගකිවයුතු පුද්ගලයෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව එහි වැරැද්ද පුවත් පත් වලට පටවා නිදහස් වීමට හැකිද යන්නයි.

පසු වදන………..

එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කළත් සමාජීය වශයෙන් හා දේශපාලනික වශයෙන් ඔවුනගේ ප්‍රශ්න විසඳීම තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව මගේ හැඟීමයි. එමනිසා මෙවැනි තැන් පැවතීම පුදුමයට කරුණක් විය නොහැකිය.

මීට ප්‍රථම පැවති සියලුම රජයන් විසින් කරනු ලැබුයේ යුද්ධය නමින් ඡන්ද ලබා ගැනීම හෝ ඒ මගින් තම මඩිය තර කර ගැනීමයි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කළ එක් වැදගත් ක්‍රියාවක් වන්නේ ඔවුන් යුධමය වශයෙන් පරාජයට පත් කිරීමයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ ප්‍රභාකරන්ගේ යුද්ධය යනු එකක් නොව දෙකකි. ප්‍රභාකරන්ගේ යුද්ධයට ඇති සහ තිබූ හොඳම විසදුම යුද්ධය ම බව මගේ ද විශ්වාසයයි. ජනාධිපතිතුමා ඒ අතින් නියම විසඳුම සොයාගෙන ඇත. නමුත් එතුමා වටා සිටින සමහර සිංහල වර්ගවාදීන්ගේ බලපෑම නිසා දෙමල ජනතාවගේ ප්‍රශ්නයද මේ සමගම විසඳුන බව රජය කරන සමහර වැඩ වලින් පැහැදිලි වේ. මේ පිළිබඳ ජනාධිපතිතුමා ගේ ස්ථාවරය කිසිසේත්ම පැහැදිලි නැත්තේ මේ සිංහල වර්ගවාදීන්ගේ මතය එතුමාගේ මතයන් යටපත් කරමින් ඉස්මතු වන නිසාය.

නමුත් එතුමා කරන සමහර ක්‍රියාවන්ගෙන් මේ ප්‍රශ්නට නිවැරදිව තේරුම් ගෙන ඇති බව පැහැදිලි වේ. නමුත් ඒ සමගම කරන තවත් ක්‍රියාවක් නිසා එය අපැහැදිලි වේ.

මේ සඳහා හොඳම උදාහරණය මෑකතදී ඉදිකරන ලද යාපනය සහ පුනරීන් යා කරමින් ඉදි කරන ලද සංගුපිඩ්ඩි පාලමයි. ඉතිහාසය පුරා රජයන් ගණනාවක් උතුරේ දෙමළ ජනයා නොසලකා හැර ඇති බව පැහැදිලි වන්නේ මේ පාලම ඉදිකිරීම මග හැරීමෙනි. මේ පාලම නිසා මා දන්නා ආකාරයට කිලෝමීටර් සියයකට ආසන්න ප්‍රමාණයක දුරක් ගමන් කළ යුතු වූ ගමන කිලෝ මීටර් හතක් වැනි දුරකින් නිමා කළ හැකි වේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සදහා මැදිහත් වී පාලම ඉදිකිරීමට පියවර ගත්තේය.

මා විශ්වාස කරන ආකාරයට දෙමළ ජනතාවට ඉතිහාසය පුරා වූ නොසලකා හැරීම් එකින් එක නැති කිරීම තුලින් මෙවැනි පුහුණු කඳවුරු හෝ වෙනත් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන් වලක්වා ගත හැකි බවත් ඒ සඳහා ඇති එකම මඟ එය පමණක්ම බවත්ය.

1 comments:

මෙවෑනි බොරු කතාවලින් සිදු වන්නේ නෑති ප්‍රශින ඇතිවීමයි.හදිසි නිතිය දිර්ග කරගෑනිමේ බලාපොරොතුවට මත කරන ලද ප්‍රකාශයක් කියා තමයි අපටනම් හිතෙන්නේ.නමුත් රටක ඉතා වගකිව යුතු පුද්ගලයේකු නොකලයුතු ප්‍රකාශයක් ලෙස තමා මටනම් හිතෙන්නේ.

Post a Comment