ආදරණීය චේ

ආදරණීය චේ

ලොව පුරා මිනිසුන් ආත්මාර්ථකාමයෙන් උමතු වී ඇති අවධියක, මමත්වය වෙන කවරදාටත් වඩා ඉස්මතු වී මිනිස්කම් ඉක්මවා යන යුගයක, මුදල් පමණක් ජීවිතය යයි සිතනා නූගතුන් සහ උගත් නමුත් බුද්ධියක් නොමැති අමනයන් රජ කරන යුගයක, මිනිස් කමට නිගා දෙන ආගම් වලින් ජනතාව තලා පෙලා දමන යුගයක ඔබේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වැඩියෙන් දැනෙන බව අවිවාදිතයි.

ඔබගේ අසීමිත මානව දයාව එක් ජාතියකට, එක් ආගමකට හෝ එක් ජන වර්ගයකට නොව මුළු මහත් මිනිස් වර්ගයාටම ඔබ බෙදා දුන්නේ ආත්මාර්ථයෙන් තොරව අව්‍යාජයෙන්මයි. මිනිසුන් වෙනස් වන්නේ රට අනුව, ජාතිය අනුව හෝ ආගම අනුව නොව ඔවුන් මිනිසත් කමට සලකන ආකාරය අනුව බව ඔබේ බොහෝ අදහස් වල ගැබ්ව තිබුණා. ලොව කොහේ හෝ ජනතාව පීඩනයට පත් කරන පාලනයක්, ආගමක් හෝ ජාතියක් වේ නම් ඔවුන් මිනිස් කමට නිගා කරන ජනතාවගේ සතුරෙක් බවත් ඔවුන්ට විරුද්ධව අනුකම්පා විරහිතව සටන් කර ඔවුන නැති කර දැමිය යුතු බවත් ඔබ ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.

ආර්ජන්ටීනාවේ ඉපිද, කියුබානු විප්ලවයට සහයෝගය දක්වා එහි ජයග්‍රහණයේ ප්‍රධාන චරිතයක් පණ පොවා එරට අතිශය වැදගත් විෂයයක් සහිත් අමාත්‍යයන්ශයක් හොබවද්දී, ජීවිතයේ සියලු සැප සම්පත් විදීමට අවස්ථා තිබියදීත් බොලිවියාවේ පීඩිත පන්තියේ විප්ලවය සඳහා ක්‍රියාවෙන්ම සහයෝගය දැක්වීමට දුෂ්කර ගරිල්ලා සටන් වලට නැවත දායක වීමෙන්ම ඔබගේ අසීමිත මානව දයාව ප්‍රකට වේ.

එහිදී පාවාදෙන්නන්ගේ ග්‍රහණයට අසුවී මරණයට පත් වීමෙන් පසුවත් ඔබගේ දේහය ඉතා ඉක්මනින් විනාශ කර දැම්මේ, ජීවත් වන චේ ට වඩා මියගිය චේ බලවත් වන බව ඔවුන් දන්නා නිසාමයි.

ඔබ මියගොස් දශක කීපයක් ගතවී ඇතත්, තවමත් ඔබගේ දර්ශනය අතිශය මානව හිතවාදී බව ප්‍රකට වන්නේ අත්තනෝමතික පාලකයන් සිටින රටක ඉපදීමේ අවාසනාවට අප උරුම කම් කියන නිසාවෙන්.