මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කිරීමේ අයිතිය රජයට තිබේද?

මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කරන බව මීට ටික දිනකට පෙර රජය විසින් ප්‍රකාශ කරන ලදී. මීය හේතුව තමන් විහින් අසනීප වන්නන් ට නොමිලේ ප්‍රතිකාර කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැති බවත් ඒ මගින් මහජන මුදල් විනාශ වන බවත්ය.

කෙසේ නමුත් රජයට අමතක වී ඇති එක් කරුණක් වන්නේ රජයේ ආදායම් වලින් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ මත්පැන් හා සිගරට් බදු වලින් බවයි. මේවා පාවිච්චියෙන් අසනීප වන්නන් ගේ හෙවත් මත්පැන් හා සිගරට් පරිභෝජනය කරන්නන්ගේ බදු මුදල් වලින් යම් කොටසක් හෝ රෝහල් පවත්වා ගෙන යාම සඳහාද වියදම් කරන බව අපගේ විශ්වාසයයි. එසේනම් ඔවුන්ටද රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ගැනීමේ අයිතියක් ඇති බව අපි විශ්වාස කරන්නෙමු.

එසේ නොමැතිනම් රජය අවංකවම මේ ද්‍රව්‍ය වලින් බදු නොලබා සිටිය යුතුයි.

අවංකවම මේවා පාවිච්චිය අවම කර ජනතාව ඉන් මුදවා ගැනීම රජයේ අවශ්‍යතාවය නම් කෙලින්ම මත්පැන් හා සිගරට් තහනම් කළ යුතුය. නොමැතිව ඒවා අලෙවි කිරීමට බලපත්‍ර ලබා දෙන අතරම පරිභෝජනය කරන්නන්ට පහත් ආකාරයෙන් සැලකීම මහජනතාවගේ අයිතිවාසිකම් පැහැර හැරීමකි.

එකෝමත් එක රටක වරායක් හැදුවාලු……..!

එකෝමත් එක රටක රජයක් තිබුණාලු. මේ රජය සංවර්ධනය ගැන ලොකු උනන්දුවකින් වැඩ කළාලු. දේශීය තාක්ෂණය සහ විශේෂඥ උපදෙස් ලබාගෙන පිරිවැය පුළුවන් තරම් අඩු කරගෙන රටේ දකුණු පැත්තේ වරායක් ඉදි කරාලු. මේ වරාය නිසා ඒ රටට ලොකු වාසියක් අත්වෙනවාලු.

වරාය හැදීමෙන් පසු විවෘත කරන්නට ලොකු උත්සවයකුත් පැවැත්තුවාලු. මේ උත්සවයේ උත්සව සංවිධාන කටයුතු කරන්නට පෞද්ගලික සමාගමකට පැවරුවාලු. මේ සමාගම අටවා ගත්තේ ඒ උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන්මලු. ඒ සමාගමේ නිල නොවන අයිතිකාරයා මහ රජතුමාට දෙවෙනි වරටත් රජවෙන්නට උදව් කළ ඉතිහාසය ගැන මහා ලොකුවට දන්නා මහා නළුවෙක්ලු. මේ උත්සවයේ නැටුම් ගැයුම් වැනි දේ සංවිධානය කරන්නට ලබා දුන්නේද ඉහත කී සමාගම මගින්ම එහි අධ්‍යක්ෂකගේ ඥාතියෙකුටලු. ලාභය කොයිතරම්ද කියනවානම් මේ වගේ තව එක උත්සවයක් සංවිධානය කළානම් ජීවිතේටම ආයෙත් රස්සාවක් කරන්නට ඕනෑ නැතිලු.

ඉතින් ඒ රටේ බස්නාහිර පැත්තේ වරායකත් විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමේ අයිතිය ගැනීමට ඒ සමාගම වලි කනවාලු. මහජනතාවගේ මුදල්වලින් මේ කරනා නාස්තිය දෙයියන්ටවත් පේන්නේ නැද්ද කියලා ජයතාව කියනවාලු.

අගමැතිතුමා ඉල්ලා අස්වීමට පෙර තවත් කී දෙනෙක් ඉල්ලා අස්විය යුතුද?

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය මාර්තු 11 වන දින පවසා සිටියේ අගමැති දි.මු. ජයරත්න මහතා තම පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මෙයට හේතුව එතුමා තමිල්නාඩුවේ ත්‍රස්තවාදීන් පුහුණු කරන කඳවුරු ඇතැයි පවසා පාර්ලිමේන්තුව නොමග යැවීමයි. මේ ප්‍රකාශය වැරදිනම් එතුමා ඉල්ලා අස්විය යුතු බව අපගේද හැඟීමයි. නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ට එවැනි ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇද්ද?

අතීතයේදී මෙලෙස පාර්ලිමේන්තුව නොමග යැවීමෙන් වාර්තා තබා ඇත්තේ  වර්ථමාන රජය පමණක් නොවේ. යුද්ධය පවතින අවස්ථාවේ හමුදාව අලිමංකඩ යනවා යයි කියා පාමංකඩ යන බව කියා පාර්ලිමේන්තුව නොමග යැව්වේ කව්දැයි අපි දනිමු. කොටි සමග ගිවිසුමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇතැයි කියමින් පාර්ලිමේන්තුව නොමග යැව්වේ කව්දැයි අපි දනිමු. ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකියයි කියා පාර්ලිමේන්තුව පමණක් නොව මුළු මහත් රණවිරුවන්ටම අපහාස කළේ කව්දැයි අපි හොඳින්ම දනිමු.

නායකත්වයේ අර්බුදයෙන් අසරණ වී ඇති එක්සත් ජාතික පක්ෂයට සටන් පාඨ නොමැති අතර, ජනාධිපතිතුමා පින් තකා අගමැති කම ලබාදුන් නහින දෙහින කාළේ සිටින අපගේ අගමැතිතුමාට විශ්වාස භංග ගෙන ඒමෙන් හෝ මිනිසුන් අතර ජනප්‍රිය වීමේ බොළඳ උත්සාහයක ඔවුන් යෙදී ඇත.

මම සහ මගේ අරමුණ….

මීට ටික කාලයකට ඉහත මා මේ ආකාරයට බ්ලොග් අවකාශයක් ආරම්භ කළත් විවිධ වැඩකටයුතු නිසා එය මගහැරී ගියේය. නමුත් පසුකාලීනව එම සියලු වැඩ කටයුතු සමථයකට පත්වීමත් සමග නැවතත් මේ ආකාරයට එය ආරම්භ කිරීමට මා කැපවීමට සිතා ගතිමි. නවතම නමකින් මෙය නැවත ආරම්භ කළත් මගේ අරමුණ මීට ඉහත වූ අරමුණම බව දැන්වීමටද කැමැත්තෙමි.


මා මේ සටහන තබන්නේ මා ගැන විස්තර ඉදිරිපත් කිරීමෙන් ඔබ ට මෙය කියවීම එපා කරවීමට නොව මා මෙවැනි බ්ලොග් අඩවියක් ආරම්හ කරන්නට පෙළඹුණු හේතුව පැහැදිලි කිරීමට මීටත් වඩා සාර්ථක ක්‍රමයක් මසිතට නොඑන බැවිනි.


පලමුවෙන් ම කිව යුතු වන්නේ මා බොහෝ අවස්ථාවල සම්මතයන් ට අභියෝග කරන සහ හැකි සෑම විටම ඒවාට විරුද්ධව යන බවයි. ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීම හෝ මාර්ගයේ දකුණු පසින් වාහන ධාවනය කිරීම වැනි දේ මා කරන බව ඉන් අදහස් නොකෙරේ, නමුත් බොහෝ අවස්ථාවල බොහෝ දෙනා කරන පරිදි ප්‍රශ්ණ කිරීමකින් තොරව විවිධ දේ පිළිගැනීමට සිත මට ඉඩ නොදේ. එය බොහෝ විට මට පුරුදු වී ඇත්තේ මාගේ පියාගෙනි. ඔහු සෑම විටම සත්‍යය පිළිගත්තා මිස අනෙකුන් කරන නිසා අන්ධානුකරණයෙන් පිළිගැනීමට නොපෙළඹුනු අයෙකි.

උපතින් මා බෞද්ධයෙක් යැයි වරක් මගේ මව කීවා මට මතකය. නමුත් ඉන් ඔබ්බට කිසිම දිනෙක මා ඒ ගැන සිතා නැත. පාසලේදී සාමාන්‍ය පෙල විභාගය සමත් විය යුතු නිසා ම බුද්ධ ධර්මය ඉගෙන ගත්තා මිස කිසි දිනෙක මා බුද්ධාගමේ යයි පැවසීම ට මා කැමති නැත.

ක්‍රමයෙන් වයසෙන් වැඩෙත්ම මා සියලුම ආගම් පිළිබඳව හොඳින් අධ්‍යයනයක යෙදුනු අතර අවසානයේ ඒ සියලුම ආගම් පිළිබඳ විශ්වාසයන්ගෙන් තොර පුද්ගලයෙකු බවට පත්වීමි.


නමුත් බුද්ධ ධර්මය ගැන මට වෙනස් ආකාරයේ මතයක් ඇත. එය කිසි විටෙකත් ආගමක් ලෙස මා විශ්වාස නොකරමි. එය දර්ශනයකි. ඉතාමත් ප්‍රශස්ථ ආකාරයෙන් අර්ථ දැක්වුනු ජීවන දර්ශනයකි. මෙලොව ජීවිතය සතුටින් සහ ප්‍රශ්න, නොයෙකුත් සිත් රිදීම්, ඊර්ෂ්‍යා කිරීම් වැනි දේ වලින් තොරව සැහැල්ලුවෙන් සහ අර්ථවත් ලෙස ගත කිරීම සඳහා දේශනා කෙරුනු අතිශය මානුෂිය සහ බල කිරීම් වලින් තොර, නොපෙනෙන දෙවියෙකු මත යැපෙනවාට වඩා තමන්වම විශ්වාස කිරීමට මග පෙන්වන දර්ශනයකි.


මා කිසිවිටෙකත් ජීවිතයේ ලබා ගත යුතු දේ ලබාගැනීම සඳහා දෙවියන්ගෙන් හෝ වෙනත් කිසිම ආකාරයක බලවේගයකින් පිහිට ඉල්ලා නැත. කිසිම දිනෙක ආගමික ස්ථානයක ඒ වතාවත් සිදුකර පිහිට පතා නැත. මා විසින් කරන සියලුම දේ සඳහා හෝ මට සිදුවන ඕනෑම කරදරයකදී එවැනි බලවේගයක ක්‍රියා නිසා එවා සිදුවන බව සිතමින් කටයුතු කරද නැත. මට මා ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇති නිසා මගේ ජීවිතයේ ඕනෑම දෙයක් සඳහා තීරණ ගන්නේ මා විසිනි. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වූ විටදී එය මාගේ තීරණයක වැරැද්දක් නිසා වුවක් ලෙස සලකා එය නිවැරදි කිරීම මගේ ක්‍රමයයි. මෙය අහම්බයෙන් ඇති වූ හැගීමක් නොවේ. කුඩා කල සිටම මාගේ පියා ගේ ජීවන දර්ශනය දැකීමෙන් ඇති වූ හැගීමකි.

ඒ මම ගැන හැඳින්වීමයි…..


දැන් මාගේ අරමුණ ගැන….

පලමුවෙන් ම සඳහන් කළ යුත්තේ මෙය හුදෙක් පුද්ගලික එදිනෙදා තොරතුරු සටහන් කිරීමට යොදා ගැනීමට මාගේ අදහසක් නොමැති බවත් ඉන් ඔබ්බට ගිය කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ සටහන් දිග හැරීමට මා අදහස් කරන බවත්ය. එමෙන් ම ශ්‍රී ලාංකික, සිංහල කතා කරන සහ සිංහල කියවීමට හැකි සියලුම ජනතාව සඳහා මෙය විවෘත කිරීමට මම අදහස් කරමි.


විශේෂයෙන් ම විසි එක් වන සියවසේ ජීවත් වන මිනිස් සමාජය තුල ඔඩු දුවා ඇති අසත්‍ය මතවාද වල සත්්‍ය හෙලි කිරීමේ උත්සාහයක් ද මෙමගින් කෙරෙනු ඇති අතර, ඊට අමතරව කාලීන සමාජ, දේශපාලනික සහ ආර්ථික කරුණූද මෙහි සටහන් කිරීම මාගේ අදහසයි.


“කාලාමයිනි, තොප විසින් සැක කරන්ට නිසිමයි; විචිකිච්ජා කරන්ට නිසිමයි. තොපට විචිකිච්ජාව ඇතිවී ඇත්තේ සැක කටයුතු තැනමයි. කාලාමයිනි, ඇසූ පමණින් නොගනු; පරම්පරාවෙන් පැවත ආ නිසා නොගනු; මෙහෙමලු යන දූෂමාන කතා නිසා නොගනු; ධර්මයෙහි සදහන් වූ නිසා නොගනු; තර්කය හේතුවෙන් හෝ න්‍යාය හේතුවෙන් නොගනු; තොප කලින් සිතූ අදහස හා ගැලපුන පමණින් ද නොගනු; පුද්ගලයෙකු පෙන්නුම් කරන සාමාර්තය හේතුවෙන්ද නොගනු; මොහු අපගේ ගුරුය යන හැගීමෙන් ද නොගනු. එහෙත් කාලාමයිනි, මේ දේ අයහපත්ය, ගර්භිතය, අවැඩ පිනිස වන්නේ යැයි යම් විටෙක තොපට වැටහුනහොත් එවිට එය අත්හැර දමනු. එසේම මේ දේ යහපත්ය, වැඩ පිණිස වන්නේ යයි තොපට වැටහුනහොත් එවිට එය පිළිගෙන පිළිපදිනු.”

- ගෞතම බුදුන් වහන්සේ -

ගරු අගමැතිතුමනි, එල්.ටී.ටී.ඊ ය තවමත් පවතිනවාද?

Sri_Lanka_Flag

 

 

 

 

 

 

 

මීට දින කිහිපයකට පෙර අපගේ ගරු අගමැතිතුමා ගේ ප්‍රකාශයකින් කියවුනේ ඉන්දියාවේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරු කිහිපයක් තවමත් පවත්වාගෙන යන බවයි. සාමාන්‍ය ප්‍රකාශයකට සීමා නොවී එතුමා මේ බව පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශ කළ බව කියවුණි. මේ තරම් වැදගත් සහ වගකිවයුතු ප්‍රකාශයක් එතුමා කළ විට මා තුළ යම් තරමක පුදුමයක් හට ගැනුනේ එය සත්‍යයක් විය හැකිද යන්නයි. හේතුව නම් ඉන්දියාව මෙවැනි දෙයකට ඉඩ දීම කෙසේ වෙතත් මෙවැනි දෙයක් තිබුණද එය හෙළි වීම නම් කෙසේ හෝ වලක්වා ගන්නා නිසාය. අගමැතිතුමා එදා මේ කතාව පාර්ලිමේන්තුවේ කිරීමේදී එය අතිශය වගකීමෙන් පැවසූ බව පුවත් පත් කිහිපයකම වාර්ථා කර ඇත.

නමුත් ඊයේ පුවත් වලින් කියවුනේ මේ ප්‍රකාශයන් ඉන්දියාව විසින් ප්‍රතික්ශේප කර තිබෙන බවයි. දැන් අගමැතිතුමා කියන්නේ වෙනමම කතාවකි. එතුමාට අනුව මේ ප්‍රකාශයන් උපුටා ගන්නා ලද්දේ පුවත් පත් දෙකක වූ වාර්ථා දෙකකිනි.

පලමු ප්‍රශ්නය වන්නේ මෙරට කිසිම අයුරකින් අපක්ෂපාතී නොවන පුවත්පත් වලින් ප්‍රකාශ උපුටාගෙන සත්‍ය අසත්‍ය තාව සොයා නොබලා පාර්ලිමේන්තුව වැනි වගකිව යුතු ස්ථානයක ප්‍රකාශ කළ යුතුද යන්නයි.

දෙවැනි ප්‍රශ්නය අගමැතිතුමා වැනි අතිශය වගකිවයුතු පුද්ගලයෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව එහි වැරැද්ද පුවත් පත් වලට පටවා නිදහස් වීමට හැකිද යන්නයි.

පසු වදන………..

එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කළත් සමාජීය වශයෙන් හා දේශපාලනික වශයෙන් ඔවුනගේ ප්‍රශ්න විසඳීම තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව මගේ හැඟීමයි. එමනිසා මෙවැනි තැන් පැවතීම පුදුමයට කරුණක් විය නොහැකිය.

මීට ප්‍රථම පැවති සියලුම රජයන් විසින් කරනු ලැබුයේ යුද්ධය නමින් ඡන්ද ලබා ගැනීම හෝ ඒ මගින් තම මඩිය තර කර ගැනීමයි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කළ එක් වැදගත් ක්‍රියාවක් වන්නේ ඔවුන් යුධමය වශයෙන් පරාජයට පත් කිරීමයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ ප්‍රභාකරන්ගේ යුද්ධය යනු එකක් නොව දෙකකි. ප්‍රභාකරන්ගේ යුද්ධයට ඇති සහ තිබූ හොඳම විසදුම යුද්ධය ම බව මගේ ද විශ්වාසයයි. ජනාධිපතිතුමා ඒ අතින් නියම විසඳුම සොයාගෙන ඇත. නමුත් එතුමා වටා සිටින සමහර සිංහල වර්ගවාදීන්ගේ බලපෑම නිසා දෙමල ජනතාවගේ ප්‍රශ්නයද මේ සමගම විසඳුන බව රජය කරන සමහර වැඩ වලින් පැහැදිලි වේ. මේ පිළිබඳ ජනාධිපතිතුමා ගේ ස්ථාවරය කිසිසේත්ම පැහැදිලි නැත්තේ මේ සිංහල වර්ගවාදීන්ගේ මතය එතුමාගේ මතයන් යටපත් කරමින් ඉස්මතු වන නිසාය.

නමුත් එතුමා කරන සමහර ක්‍රියාවන්ගෙන් මේ ප්‍රශ්නට නිවැරදිව තේරුම් ගෙන ඇති බව පැහැදිලි වේ. නමුත් ඒ සමගම කරන තවත් ක්‍රියාවක් නිසා එය අපැහැදිලි වේ.

මේ සඳහා හොඳම උදාහරණය මෑකතදී ඉදිකරන ලද යාපනය සහ පුනරීන් යා කරමින් ඉදි කරන ලද සංගුපිඩ්ඩි පාලමයි. ඉතිහාසය පුරා රජයන් ගණනාවක් උතුරේ දෙමළ ජනයා නොසලකා හැර ඇති බව පැහැදිලි වන්නේ මේ පාලම ඉදිකිරීම මග හැරීමෙනි. මේ පාලම නිසා මා දන්නා ආකාරයට කිලෝමීටර් සියයකට ආසන්න ප්‍රමාණයක දුරක් ගමන් කළ යුතු වූ ගමන කිලෝ මීටර් හතක් වැනි දුරකින් නිමා කළ හැකි වේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සදහා මැදිහත් වී පාලම ඉදිකිරීමට පියවර ගත්තේය.

මා විශ්වාස කරන ආකාරයට දෙමළ ජනතාවට ඉතිහාසය පුරා වූ නොසලකා හැරීම් එකින් එක නැති කිරීම තුලින් මෙවැනි පුහුණු කඳවුරු හෝ වෙනත් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන් වලක්වා ගත හැකි බවත් ඒ සඳහා ඇති එකම මඟ එය පමණක්ම බවත්ය.

ආසියාවේ ආශ්චර්්‍යයට යන මග!

Police_0මෙරට  පොලීසිය ප්‍රශ්නයක් දෙස බලන ආකාරය පුදුම සහගතය. තීරණයක් ගැනීමේදී පළමුව එය ක්‍රියාවේ යොදවා දෙවනුව සලකා බලයි. ඉන් පසුව තීරණය වෙනස් කරයි. ජනතාව අන්ද මන්ද වී බලා සිටියි. කුමක් නීති සහගතද, කුමක් නීති විරෝදීදැයි නොදන්නා ජනතාව හිතෙන හිතෙන දේ කරයි. ඊට පසුව පොලිසිය ඔවුන්ව හිරභාරයට ගනී. අවසානයේ නිසි පරිදි නීති සකසා නැති කමින් නඩු නැතිව නිදහස් කරණු ලබයි.
හොඳම උදාරණය කිහිපයක්ම දිය හැකිය!
ක්‍රිකට් ලොක කුසලානය ආරම්භයට පෙර පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මාධය හමුවක් කැඳවා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට ඇතුලු වීමේදී කොඩි සඳහා මිටවල්, සංගීත භාණ්ඩ, කිසිම ආකාරයක බෝතල්, ප්ලාස්ටික් පුවරු, බැනර්, පෝස්ටර් හෝ මධ‍්‍යසාර රැගෙන ඒම තහනම් බවයි. ක්‍රිකට් තරඟයක් නරබා පුරුදු මෙරට ප්‍රෙක්ෂකයන්ට මෙය අදහාගත නොහැකි විය. මධ්‍යසාර හා සිගරට් තහනම් කිරීම යුක්ති සහගත වුවත් අනෙකුත් ද්‍රව්‍ය නොමැතිව තරඟයක් නරඹන්නේ කෙසේදැයි ඔවුන් කල්පනා කරන්නට විය. සමහරු මෙය පොහොය දින භාවනා වැඩසටහනක් යයි වරදවා වටහාගැනීමටද සූදානම් විය. නමුත් ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ අයගේ බලවත් ඉල්ලීම හා බලකිරීම මත අපේ පොලිස්පතිතුමා මේ සීමාකිරීම් යම් තරමකට ලිහිල් කරගත්තේය. ලී පොලු හැර අනෙකුත් දේ රැගෙන යාමට අවසරය ලැබුණි. බොහෝ ආඩම්බරයෙන් පුවත් පත් සාකච්ඡා පවත්වා ප්‍රකාශ කළ දේ අකුලා ගත්තේය. මේ ප්‍රකාශය කිරීමට කළින් ක්‍රිකට් කීඩාව නරඹන කෙනෙකුගෙන් උපදෙසක් ගත්තානම් මේ අවනම්බුව නොවීටම ඉඩ තිබු බව අපට හැඟේ.
පිටතින් රැගෙන ඒම තහනම් කර තිබූ මධ්‍යසාර වෙනුවට බීර සමාගමක් විසින් ක්‍රීඩාංගනය තුලම ජනතාවට නාන්නට ඇතිවන තුරු බීර විකිණිමෙහි යෙදුනි. මේ තහනම් කිරීමේ අරමුණ ඒ සමාගමට ලාභ ලබාදීමදැයි අපි නොදන්නෙමු. රුපියල් 600-700 පමණ අරක්කු බෝතලයක් ගෙන කිහිප දෙනෙකු එකතු වී පානය තර තරඟය අතරතුර ලබගෙන්නා විනෝදය සඳහා මේ නිසා රුපියල් 1500 වත් වියදම් කිරීමට සිදුවිය.
සිගරට් ගෙන ඒම තහනම් වුවත් පොලිස් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇතුලු වූ ප්‍රෙද්ශයේ කුඩා වෙළඳසැල් වල ඕනෑ තරම් සිගරට් විකිණිමට තිබුණි.
පොලිස්පතිතුමාගේ මාධ්‍ය සාකච්ඡාව විහිලුවක් නොවන්නේද?
දැන් තවත් අලුත් රංගනයක් සිදුවෙමින් පවතී. ඒ වයඹ පලාතෙනි. එහි පොලිස් අධිකාරිවරයෙක් දැන් වයඹ පලාත තුල වයස 18 අඩු දරුවන් ට “ඉන්ටර්නෙට් කැෆේ“ වලට ඇතුලු වීම තහනම් කර ඇත. එසේ අවශ්‍යනම් පාසලේ විදුහල්පතිවරයාගෙන් ලිපියක් අවශ්‍ය වේ. මීට හේතුව බොහෝ දරුවන් ඒ තුළ අසභ්‍ය දර්ශණ නැරඹීම බව ඔහු කියා සිටී. මොනතරම් දූරදර්ශී තීරනයක්ද. විදුහල්පතිතුමාගෙන් ලිපියක් රැගෙන විත් අසභ්‍ය දර්ශණ නොබලන බවට එතුමාට සහතික විය හැකිද. කළ යුතුව තිබුණේ මේ කැෆේ හිමිකරැවන් දැනුවත් කර ඒ තුළ මේ දර්ශන නැරඹීම නැවැත්වීම නොවේද.
මුදල් ඇති දරුවන් ට ඩොංගලයක් මගින් තමන්ගේ ලැප්ටොප් පරිඝනකය මගින් අවශ්‍ය ඕනෑම දෙයක් බලා ගත හැකිය. සාමාන්‍ය පන්තියේ දරුවන්ට දැන් සිදුවන්නේ කුමක්ද? මේ සීමාකරන්නට සැරසෙන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නොවේද? වෙනත් රටවල දරුවන් තාක්ෂණයත් සමග බොහෝ ඉදිරියට ගමන් කිරීමේදී අපේ දරුවන්ට සිදුවන්නේ ලිං මැඩියන් වීමටයි.
ඉන්ටර්නෙට් යනු දැනුම් සම්භාරයකි. ඒ සමගම අනවශ්‍ය ආකාරයේ ළමා මනස දූෂණය කරන ආකාරයේ අන්තර්ගතයන්ද ඒ තුළ ඇත. නමුත් අප කළ යුත්තේ ඉවක් බවක් නැතුව තහනම් කීරීම නොවේ, හොඳ නරක කියා දී දරුවන් ට අවශ්‍ය දේ පමණක් පරිහරණය කිරීටම හුරු කිරීමයි. මනුෂ්‍යා යනු ජීවියෙක් නිසා, ජීවය බාධක මගින් නැවැත්විය නොහැකි නිසාත් කවදා හෝ මේ බාධක බිඳගෙන යන දිනය ඈතක නොවේ!

විශ්වය සහ මිනිසා

මනුෂ්‍යයා යනු විශ්වයේ පවතින අතිශය දුර්ලභ ජීවියෙක් බව කිව හැකිය. මේ පෘතුවිය මතුපිට ජීවින්ගෙන් ද මනුෂ්‍යයා අතිශයින් සුවිශේෂිත වෙයි. මෙයට ප්‍රධාන හේතුව අපගේ අති විශාල ධාරිතාවයකින් යුතු මොලයයි. ඊට අමතරව අත් ඇවිදීමෙන් නිදහස් වීමත් සමග වෙනත් වැඩ කිරීමට ඇති හැකියාව දියුණු වීම නිසා ඒ හා සමගාමීව මොලය දියුණු වීම සිදුවී ඇත. මේ නිසා අනෙකුත් ජීවීන්ට නොලැබී ඇති අතිවිශේෂ හැකියාවක් වන කතා කිරීමේ හැකියාව අප හට ලැබී ඇත. චිම්පන්සින් වැනි ප්‍රයිමේටාවන් කිහිප දෙනෙකුටම මිනිසාගේ තරමටම දියුණු වූ ස්වර ග්‍රන්ථි පිහිටා තිබුනද ඔවුනට කතා කිරීමේ හැකියාව ලැබී නැත්තේ හෝ ලැබී ඇත්නම් අපට සංසන්දනාත්මකව නොසැලකිය හැකි වන්නේ ඔවුන්ගේ මොලය දියුණු වී නැති නිසාය. පරිණාමය සිදුවීමේදී අනෙකුත් ජීවීන්ට සාපේක්ෂව මිනිසාගේ පරිණාමය අතිශය වේගයෙන් සිදුවී ඇත. මේ හේතුව නිසා අපගේ සියලුම ක්‍රියාවන් වල දියුණුවක් ඇති වී ඇත.

මේ සියලු කරුණු සලකා බැලුව ද අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ මිනිසා යනු ස්වභාවධර්මයේ නිපැයුමක් බවත්, සියලු ජීවීන්ට පොදු සාධක මිනිසාටද පොදු බවයි. ජීවියෙකුගේ ප්‍රධාන කාර්යයභාරය වනුයේ ජීවය පවත්වා ගැනීම සහ ප්‍රජනනයයි. ශිෂ්ඨාචාරයේ කඩතුරාවෙන් වැසී තිබුණද මිනිසාගේ ද ප්‍රධානම කාර්යය වන්නේ ඉහත කී කරුණුයි.

නමුත් බුද්ධිය මෙහෙයවා කටයුතු කළ හැකි නිසා අන් සියලුම ජීවීන්ට වඩා ඉහළ තත්ත්වයක් අපට ලැබී ඇත. මේ නිසා ඉහත කී ප්‍රධාන කරුණු වලට අමතරව බොහෝ ක්‍රියාවන් මගින් ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අපට හැති වී ඇත.

මොළය දියුණූ වීමත්, බුද්ධිය පරිණාමය වීමත් සමඟ මිනිසුන් අතර ඇති සියලු උස් මිටි කම් දුරලා, ජාති ආගම් හෝ කුළ වශයෙන් බෙදීම අවම කළ යුතු වුවත් ඒ සියලු දේ උග්‍ර වී ඇති බව දකින්නේ කණගාටුවෙනි!