සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීම, වෙසක් නිමිත්තෙන් සියලු ආකාරයේ වත් පිළීවෙත් කිරීම හා ආලෝක පූජා අවසන් විය. ලක්ෂ ගණනින් නොව මිලියන් ගනනින් වියදම් කර ජාතික හා ජාතික නොවන ආදී මෙකී නොකී උත්සව පවත්වන ලදී.
මහා පරිමාණ දන්සල් පැවැත්වුනේ මුළු රටටම ඇසෙන හා දැනෙන ආකාරයටයි. කාර්, වෑන්, ප්‍රාඩෝ, මොන්ටෙරෝ සහ තවත් නා නා විධ වාහනවලින් පැමිණි බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැඩී ගිය ජනතාව ඒවායින් කා බී ගියහ. දුප්පත් අසරණ මිනිසුන්ට මේ දන්සල් වල පෝලීමේ සිටගෙන සිටීමට පවා අවසර ලැබුනේ නැත. ඒ ඔවුන් කිලිටි නිසා ය නැතහොත් වැදගත් මිනිසුන් සිටින තැන්වලට ඔවුන් නුසුදුසු නිසාය. බොහෝ විට ඔවුන්ට ලැබුණේ දන්සල් අහවර වී ඉතිරි වූ ආහාරයි. නැතිනම් කන්නට බැරි තරමට බෙදාගෙන ඉතිරි වී විසි කරන ආහාරයි. ඹවුනගේ කුඩා දරුවන්ගේ බඩවල් විශාල වී තිබුණේ අධික ලෙස ආහාර ගැනීම නිසා නොව මන්දපෝෂණයෙන නිසායි.
මුදලාලිලා අවුරුද්දක් පුරාම ජනතාව සූරා කා ඉතිරි කරගත් මුදලින් අතිශය සොච්චමක් වැය කර පින් රැස් කර ගන්නා ලදී. එම තොරන් වලට ආධාර නොලැබෙන විට තොරන් ඉදි කරන්නේ ඇඟේ අමාරුවට නොවන බවත් ආධාර අවශ්‍ය බවත් නිර්ලජ්ජිතව පවසා ආධාර හිඟා කෑමද ජයටම කරන ලදී.
වීදි දරුවන් ලක්ෂ ගණනින් සිටිනා රටක, වේලක් කෑ පසු ඊළඟ වේල කවදා ලැබෙයිදෝ නොදන්නා දුප්පතුන් සිටිනා රටක, බඩගින්නට හඬනා දරුවාට අවශ්‍ය කිරි ටික, කෑම ටික දෙන්නට නොහැකිව දරුවන් ගඟට විසි කරනා රටක. දරුවන්ගේ අවශ්‍යතා සපුරන්නට මුදල් නොමැතිව දරුවන්ටත් වස පොවා තමනුත් වස බී මියයන අම්මලා සිටින රටක, මේ සම්බුද්ධ ජයන්ති උත්සව පවත්වන්නේ කා සඳහාද?
මේ උත්සව සඳහා වැය කළ අති විශාල මුදලින් දුප්පත් පවුල් කීයක් නම් බඩගින්නෙන් මුදවන්නට හැකියාව තිබුණීද? බඩගින්නේ හඬන කිරි කැටියන් කී දාහකගේ බඩගින්න නිවන්නට කිරි බිඳක් ලබා දෙන්නට හැකියාව තිබුණිද? හිසට සෙවනක් නොමැතිව වීදී වල රැය ගතකරන දරුපැටියන් කී දාහකට කුඩා නිවසක් හෝ තනා දෙන්නට හැකියාව තිබුණිද? කුළුදුල් දරු ප්‍රසූතියට සුදානම් වන දුප්පත් අම්මලා කී දාහක් මන්දපෝෂණයෙන් මුදවාගන්නට හැකියාව තිබුණිද? ඒ අම්මලාට රෝහලින් රැගෙන එන්නට යයි කියන නා නා විධ ඇඳුම් පැළදුම්, හා වෙනත් දේ ගන්නට නොහැකිව තැවෙන් තාත්තලා කී දාහකගේ සිත් නිවන්නට තිබුණිද?
මිනිසුන් වන අප මොහොතකට සිතිය යුත්තේ මේ ගැන බව මගේ හැඟීමයි.
පහත රූප පෙළ බලන්න………., මේ අපේම මිනිසුන් නොවේද?
ඇත්ත